අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට අපහාස කරන අයට වැඩ වරදී!

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට මහාධිකරණ විනිසුරු රංග දිසානායක පත් වීමෙන් අනතුරුව එකී කොමිසම නව පණක් ලද්දාක් සේ තරාතිරම නොබලා දූෂිතයන් හඹා ගොස් දඬුවම් ලබා දීමේ ක්‍රියාවලියක නිරත වෙමින් සිටී. ඒ සමගම රංග දිසානායකට එරෙහිව අභූත චෝදනා නැගීමට දූෂිත පිල සංවිධානාත්මකව ක්‍රියා කරමින් සිටිති. එහි එක් අවස්ථාවක් වූයේ රංග දිසානායක විනිසුරුවරයෙකුව සිටිය දී තම දරුවා කොළඹ රාජකීය විදුහලට ඇතුලත් කිරීමේ දී දූෂනයක් සිදුකර ඇති බවට අල්ලස් කොමිසමට ම අයෙකු පැමිණිල්ලක් කිරීමයි. 

අල්ලස් හා දූෂණ විරෝධී කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක 

අද පැවැති විශේෂ මාධ්‍ය හමුවදී අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක ඒ සම්බන්ධයෙන් මෙසේ පැවසීය. "එක් පුද්ගලයෙක් මගේ දරුවා පාසැලකට ඇතුලත් කිරීම පැමිණිල්ල කොමිසමට ඉදිරිපත් කළා. ඒක නිවැරදියි. තැන තැන කියව කියවා ඉන්නේ නැතිව පැමිණිල්ලක් කළා. ඒක හොඳයි. මා කොමිසමට කීවා, පැමිණිල්ල විමර්ශනය කරන්න. මා සම්බන්ධ නොවී වෙනම විමර්ශනය කරන්න. වරදක් කර තිබේ නම් මට දන්වන්න. මා වරදක් කර නැතිනම් මාධ්‍යයට, ජනතාවට දැනුම් දෙන්න කියා. ඒ අනුව කොමිසම මාධ්‍යයට නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔහු පැමිණිල්ල කර ඒ පිලිබඳව සමාජ මාධ්‍යවල ඒ ගැන කියා තිබුනා. ඔහු කර ඇත්තේ දැන් අසත්‍ය පැමිණිල්ලක් නම් පණත යටතේ 125 (2) වගන්තිය යටතේ ඔහුට එරෙහිව විමර්ශනයක් කරන්නත් කොමිසම ක්‍රියා කරනවා ඇති." 

ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සැප්. 30 දා නිකුත් කරන ලද නිවේදනය මෙසේ ය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සම්බන්ධව කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලක් පිළිබඳව කොමිෂන් සභාවේ තීරණය ජනමාධ්‍ය වෙත දැනුම් දීම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වර්තමාන අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක යන අය 2014 වර්ෂයේ දී අවිධිමත් ආකාරයට තමන්ගේ දරුවා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කරවීම සිදුකර ඇතැයි කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලක් පිළිබඳව කොමිෂන් සභාවේ සභාපති ඇතුඵ සාමාජිකයන් තිදෙනාගේ විධානය පරිදි දූෂණ විරෝධී පනතේ 42 (1) වගන්තිය යටතේ මූලික පරීක්ෂණයක් සිදුකරන ලදී. 

කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් වරයාට විරුද්ධව ලැබුණු පැමිණිල්ලක් වූ බැවින් මෙම පැමිණිල්ල පිළිබඳව ප්‍රමුඛතාව ලබාදී කඩිනමින් විමර්ශනය කරන ලද අතර, ප්‍රස්තුත කරුණ පිළිබඳව සමාජ මාධ්‍යන්හි පසුගිය දිනවල විශේෂ අවධානය යොමුවී තිබීම හේතුවෙන් අදාල විමර්ශනයේ ප්‍රගතිය ජනමාධ්‍ය ආයතන වෙත ඉදිරිපත් කරනු ලැබේ. අදාල විමර්ශනය තුළ අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් වාර්තා කැඳවන ලදී. 

අධිකරණ නිලධාරීන්ගේ දරුවන් පාසල් වලට ඇතුළත් කිරීම පිළිබඳව අංක SCFR 235/2011 දරණ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ මත අදාල දරුවා පාසලට ඇතුළත් කිරීම සිදුවී ඇති බව නිරීක්ෂණය වී ඇත. එම වර්ෂයේ මෙම දරුවා පමණක් නොව අධිකරණ නිලධාරීන්ගේ තවත් දරුවන් ද කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කර ඇති බව ද නිරීක්ෂණය වී ඇත. ඒ අනුව, ඉහත දරුවා පාලසට ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය තුළ ආයතනික ක්‍රමවේදයන්හි අක්‍රමිකතාවයක්, පක්ෂග්‍රාහී හෝ අනීතික ක්‍රියාවක් සිදුව ඇති බවට කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නොමැති බැවින් මෙම පැමිණිල්ල අවසන් කිරීමට කොමිෂන් සභාව තීරණය කරන ලදී.  

කෙහෙල් ගහට කෙටූ නන්දන ගුණතිලකට, ගම්මන්පිලට වැඩ වරදී.. 

අද පැවැති විශේෂ මාධ්‍ය හමුවේ දී ජවිපෙ හිටපු දේශපාලන මණ්ඩල සභිකයෙකු වූ පසුව ජවිපෙ අතහැර එක්සත් ජාතික පක්ෂයට එක් වූ නන්දන ගුණතිලක සහ ගම්මන්පිල දෙදෙනා විසින් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සම්බන්ධයෙන් සිදුකර ඇති අභුත චෝදනා ගැන ද සඳහන් කෙරිණ. 

නන්දන ගුණතිලක කියා තිබුනේ ඔහු ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සිටිය දී රංග දිසානායක ජවිපෙ නීති කමිටුවක සාමාජිකයෙකුව සිටි බවයි. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රංග දිසානායක මෙසේ පැවසීය. "2004 දී මා මහේස්ත්‍රාත් වරයෙකු ලෙස රාජකාරි ආරම්භ කළා, 2020 මහාධිකරණ විනිසුරුවරයෙක් ලෙස පත්වුනා. 2025 දි මහාධිකරණ විනිසුරුවරයෙකුව සිටිමින් ද්විතීයික පදනම යටතේ මේ තනතුරට එන්නේ. නන්දන ගුණතිලකගේ ප්‍රකාශය අනුව මා විනිසුරුවරයෙකු ලෙස පත්වීමත් වැරදියි. එසේ නම් නන්දන ගුණතිලක අවුරුදු 20 ක් ඒ ගැන කිසිවක් කෙළේ නෑ. අධිකරණ සේවා කොමිසමට කීවෙත් නෑ. ඔහු කියන ආකාරයේ කමිටුවක මං කිසිදිනෙක ඉඳලා නෑ. ඔහු චෝදනා කරනවා නම් ඔහු ඒක ඔප්පු කරන්න ඕනෑ. දැන් මේ අය අමුතු දෙයක් කරනවා. මුලින් බොරුවක් කියනවා, ඒක බොරුවක් බව ඔයා (චුදිතයා) ඔප්පු කරන්න කියා කියනවා. බොරුව පාර්ලිමේන්තුවේ ත් කියනවා. පියවර ගන්නත් බෑ. පාර්ලිමේන්තු වරප්‍රසාද නිසා. එහෙම දෙයක් කොහේද තියෙන්නේ.? චෝදනාවක් තියනවා නම් ඒක මාධ්‍යයට නොකියා කළ යුතු දේ අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් කිරීමයි. 

දැන් ගම්මන්පිල කියනවා, මා දූෂන විරෝධී පනතේ 19 වැනි වගන්තිය යටතේ වරදක් කරනවා කියලා. 19 වැනි වගන්තියේ තියෙනවා නුසුදුසුකම්. මොනවා ද? යම් මැතිවරණයක් සමයේ දී දේශපාලන පක්ෂයක තනතුරක් දැරීම මේ තනතුර දැරීමේ දී වරදක්. මා එසේ කර තියෙනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පැමිණිල්ලක් කළ යුතුයි. ගම්මන්පිල තවත් කියනවා, අර්ජුන් මහේන්ද්‍රන්ගේ විදේශ ගමන් තහනම මා මහේස්ත්‍රාත්ව සිටිය දී ඉවත් කළා කියලා මං එසේ කරලා නෑ. මා කොටුව මහේස්ත්‍රාත්වරයාව සිටිය දී අර්ජුන් මහේන්ද්‍රන් සහ රවි කරුණානායක ඇතුළු පිරිසට වරෙන්තු නිකුත් කෙළේ මමයි. ඔවුන් ඊට එරෙහිව අභියාචනාධිකරණයට ගියා. දැන් අවුරුදු 8 ක් වෙනවා. දැනුත් පිළිවන් අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කරන්න. දැනුත් පිළිවන්. ඇයි නොකරන්නේ? 

මේ අය දැන් කරන්නේ කුමක්දැයි අරමුණ පැහැදිලියි. ඔවුන්ට අවශ්‍යයි කොමිසම ගැන විශ්වාසය පළුදු කරන්න. ඒක පැහැදිලියි." 

"මේ අයට එරෙහිව මට සිවිල් අපහාස නඩුවක් දාන්න පුළුවන්. නමුත් කොමිෂන් සභාව තීරණයක් ගෙන තියෙනවා මේක හුදු පුද්ගලයෙකු අරභයා කරන දෙයක් නොව, මෙය කොමිෂන් සභාව ඉලක්ක කරගෙන කරන දෙයක් කියා. කොමිෂන් සභාව කෙරෙහි තිබෙන විශ්වාසය පළුදු කරන්න කරන දෙයක් කියා. ඒ නිසා කොමිෂන් සභාව තීරණයක් ගෙන තියෙනවා. දූෂන විරෝධී පනතේ 18 වැනි වගන්තිය යටතේ කොමිෂන් සභාවට කරන අපහාසයක් ලෙස සලකා මේ අයට එරෙහිව ක්‍රියා කරන්න." 

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත ගැන.. මේ අතර අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත පසුගිය ජුනි 01 දා සිට ක්‍රියාත්මක බවත්, එය ඉතා බලවත් පනතක් බවත්, යම් දේපොලක් පිළිබඳ එහි හිමිකරු නිශ්චිත පිළිතුරක් දීමට අපොහොසත් වන්නේ නම් එම දේපොල සම්බන්ධයෙන් වෙනත් වරදක් අනාවරණය නොවන්නේ නම් හිමිකරු වැරදිකරු නොකර දේපොල රාජසන්තක කළ හැකි යයි රංග දිසානායක පැවසීය. එකී පනත යටතේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට විශාල වගකීමක් පැවරී ඇති බවත්, එම පනත යටතේ පුද්ගලයා සම්බන්ධයෙන් නොව දේපොල සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම නිසා විමර්ශන පහසු වන බවත්, වැරදි වලින් උපයාගත් වාහන, ඉඩම්, නිවාස, හෝටල් වැනි දේපොල පිලිබඳ මහජනතාව දන්නේ නම් ඒ ගැන පැමිණිලි කළ හැකි බවද රංග දිසානායක පැවසීය.

(ලංකා ඊ නිවුස් වාර්තාවක් ඇසුරෙනි.)

 

අදහසක් පළ කරන්න (COMMENTS)

0 Comments